"අද මං එන්න ටිකක් රෑ වෙනවා .තියෙන දෙයක් කාල නිදා ගන්න." නිමාලි දුව තම දුව අමතා කීවේ රතු පැහැති තොල් ආලේපනය අතට ගනිමිනි.

"අම්මෙ... අම්මට අද යන්නම ඕනෙමද?" ඒ නිමාලිගෙ දියණිය නිෂාදිගේ හඬයි.

" නැතුව,මම අද කස්ටමර්ස්ලා දෙතුන් දෙනෙකුටම කතා කරා" නිමාලි කිව්වෙ මහ උජාරුවෙන් ය.

  අම්මට ඒක මහ ලොකු රස්සාවක් උනාට නිෂාදි ට නම් අප්පිරිය ම රස්සාවකි.අම්මා මේ රස්සාව පටන් ගත්තේ නිෂාදි ලැබුනට පසුව  බව කවුරුත් දන්නා රහසකි.අත පය වෙහෙසවා වැඩක් නොකොට කාම යක්ෂන්ගේ කාම පිපාසයට දිය බිංදුවක් වන්නේ ඇයිදැයි ඇයට සිතා ගැනීමට නොහැකිය.

  "මං යනවා, ගිය ගමන් දොර ලොක් කර ගන්න." එසේ කියූ නිමාලි ඇගේ හෑන්ඩ් බෑගය ගෙන පිට විය.

  නිෂාදි  දොර ලොක් කරගන්නටත් පෙර පෙරේරා අංකල් දොර ඉදිරිපිටය.

"කෙල්ලෙ මං මේ ආවේ උඹ එක්ක ටිකක් කතා කරන්න.ගනින්කො මාව ඇතුලට.."

"අනේ අංකල් අම්මා ඉන්න වෙලාවක එන්න.ඔයා ඇයි අම්මා ගියා ම එන්නෙ.දවස් කීයක් නම් ඔයා එනව ද.මං හොඳට ම දන්නවා ඔයා එන්න හදන්නේ මොකාට ද කියලා.පින් සිද්ධ වෙයි ඔයා ආයේ එන්න එපා ." නිෂාදි එසේ පැවසුවේ  හිතේ මවා ගත් එඩිතර බවකින් වූව ද හිතේ ඇත්තේ පුදුමාකාර බියකි.

     " අනේ උඹත් උඹේ අම්මා වගේමයි.අපි එක්ක තමයි ඉන්න බැරි .පිට උන් එක්ක හොඳට නටන්වා ඇති..ෂික්  විතරක්.... " කියමින් බැණ බැණ යන්න ගියේ ය.

       කර ඇත්තේ නම් එසේ මෙසේ පවක් නොවන බව නිෂාදි නිතරම සිතයි.අම්මට කොතෙකුත් මෙහෙන් යමු කීව ද ඈ ඒ ගැන තකන්නේවත් නැත.අම්මා නිසා ඈ සමාජයෙන් ම කොන් වී ඇත.නමුත් නිශාදි තුළ අංශු මාත්‍රයක කාම ආශාවක් ගෑවීවත්  නොමැත.

     අම්මාගේ කණ්ණාඩි මේසය තුල එක එක ආලේපන තිබේ.නමුත් නිෂාදිට මේවා ඇල්ලීම තහනම් ය.ඈ පාවිච්චි කරන්නේ එකම දෙයක් පමණි.ඒ සන්ලයිට් කෑල්ල ය.

     කුස්සියට ගියමුත් කිසිවක් උයා නැත.අම්මාට නම් රෑ කෑම කෙසේ හෝ ගනී.තමන්ට පමණක් උයාගෙන කෑම කම්මැලි වැඩකි.මුලු දවසම කාමරයට කොටු වී සිටීම තරම් එපා වෙන දෙයක් නැත.කූඩු වල සිටින සතුන් කෙසේ ඉන්නවාද සිතා ගැනීමට නොහැක .

අම්මාගේ කණ්ණාඩි මේස ලාච්චුවේ ඇර බැලූ විට රුපියල් පනහක් තිබුණේ වාසනාවටය.එය අර ගෙන බාටා දෙක දමා ගත්තේ ප්‍රධාන පාරේ ඇති කඩයෙන් ආප්ප දෙකක් හෝ ගෙන ඒමටය.මේ නාගරික ජීවිතයෙන් කවදා ගැලවෙන්න ලැබේ ද යන්න උඩ සිටිනා දෙවියන් පවා නොදන්නවා විය හැක.

" ආ...උඹත් අම්මා වගේ රස්සාව පටන්  ගත්තා එහෙනම්..."  මැගිලින් නැන්දා ගමන හරස් කරේ ය.

" අනේ නැන්දෙ එහෙම දෙයක් නෙවෙයි...මං මේ යන්නෙ....."

"හා හා බොරු ඕනෙ නෑ.යමන් යන දිහාවක.ඇඟ විකුණන් කන ජාතිය..." කියමින් මැගිලින් නැන්දා යන්න ගියා ය.

අම්මා නිසා තමා ද  සමාජයේ පිළිකුලක් වී හමාරය.ඒත් ඒක අම්මා තේරුම් ගන්නේ නැත.ඒවා තේරුම් කිරීමට ගොස් අම්මාගෙන් ලුණු ඇඹුල් ඇතිව අසා ගත්තා තාමත් මතකය.

" උඹ මගෙ බඩට ආව එකෙන් තමයි මට හැමදේම නැති උනේ.දැන් එනවද  මට දැනමුතුකම් දෙන්න.මං කරන්නෙ මට ඕන දේවල්.ඉන්න පුලුවන් නම් ඉදපන්.නැත්තම් ඕන දිහාක යමන්.මං අඬ අඬ උඹ හොයන්නෙ නෑ."

 ඇය කීවේ එපමණකි .

   "මොනවද ඕනේ...?"

ඕ ගැස්සී ගියේ වෙන කල්පනාවක සිටි නිසා ය.

 " මට ආප්ප දෙකක් දෙන්නකො.මෙන්න සල්ලි"

"ඇයි මොකද  හදිස්සිය පොඩ්ඩක් ඔහොම ඉන්නවා." ආප්ප කඩේ කොල්ලා කෑගෑවේ ය.

"මල්ලි ,මේ නංගිට දීලා යැව්වනම්  නේදා හොඳ .රෑවෙනවනෙ."

 නුපුරුදු කටහඬක්  තමා වෙනුවෙන් කතා කරේ ය.ඒ කවුදැයි බැලීමට  නිශාදි පිටු පස හැරුනි.වැදගත් යැයි කිව හැකි කඩවසම් කොල්ලෙකි.සාමාන්‍ය ටී ෂර්ට් එකකින් හා දිගු ඩෙනිමකින් ඔහු සැරසී සිටියේ ය.ඔහු ඈ දිහා සිනාමුසු මුහුණින් බලාගෙන ය.

" මොන පිස්සුද මහත්තයා මෙයාට මෙයාගෙ අම්මාට රෑ ගමන් හොඳට පුරුදුයි." කියමින් හයියෙන් සිනාසුණේ ය.

නිශාදි ට ඇත්තටම ලැජ්ජාවක් ආවේ ය..සුදු කම්මුල් රතු විය.ඈ එතනින් ඉවත් වී ගෙදර බලා දුවන්නට විය.

"නංගි.... ඔහොම ඉන්න. " 

ඇය නතර උනේ නැත.සමහර විට කතා කරන්නට ඇත්තේ ඒ පිරිමි ළමයා විය යුතු ය.ඈ සිතමින් ගෙට ඇතුලු වූවාය.

     පුදුමයකි! අම්මා නිවසේ ය.

" චටාස්..චටාස්.."

නිමාලි අත පුරවා නිශාදි ගේ කම්මුලට වැරෙන් පහරක් දුන්නා ය.

" මම කිව්වෙ ගෙදරට වෙලා තියන දෙයක් කාලා ඉන්න කියලා.තෝ කොහෙද මහ රෑ රවුමෙ යන්නෙ."

"මං ගියෙ ආප්ප දෙකක් අරන් එන්න විතරයි..." 

නිශාදි ඉකිගසමින් අඬන්නේ අද දවස තුල වූ කෙනහිලිකම් මතක් කරමිනි. 

" වෙලාවට ඩීල් එක කැන්සල්   උනේ.නැත්තම් හොඳ නාඩගම් නටලා ගෙට ඇවිත් නිදා ගන්නවා."නිමාලි මේ බැන වදින්නේ කූඹියෙකුටවත් වරදක් නොකරපු තමාගෙ ලෙයින් හැදුනු දරුවාට ය.

සුලු මොහොතකින් නිමාලිගේ දුරකථනයට ඇමතුමක් ආවේ ය.පැය කාලක් පමණ සන්වාදයේ යෙදී නිමාලි නැවත සැරසුණේ ය.

"මං යනවා,අයේ එළියට ගියොත් කකුල් පළල ලුණු දාන්වා " කියමින් ඈ යන්න ගියා ය.  

       මේ ජීවිතය ඇත්තටම අප්‍රිය ය.තමන් සිරකාරියක් මෙන් බව නිශාදිට තේරේ.අම්ම කිසි දිනක දුවේ කියා ආදරයෙන් කතා කොට නැත.මුලු සමාජක් ම තමා ව පිළිකුල් කරන්නේ තමන් මේ ලෝකයට ආ නිසාය.මේ ලෝකෙන් තුරන් වූවා නම් මේ සියල්ලම විසඳෙනු නෙඅනුමානය.

නිශාදි කදුලු පිස දා නැගිට්ටේ ය.මූණ සේදීමට ඈ නානකාමරයට ගියා ය.ගිය විගස ඇගේ නෙත ගැටුනේ රාක්කයේ දමා ඇති වැසිකිළි සේදුම් දියර බෝතලය.එය අතට ගත් ඈ එක හුස්මට බීගෙන ගියේ වතුර පිපාසාවෙන් සිටි සතෙකු වතුර බොනවා සේය.

වැසිකිළි සේදුම් දියරය නිසා මුලු ගතම පිච්චී යනවා ඇයට දැනුනි.දැන් පරක්කු වැඩිය.කෑ ගැසුව නමුත් කාටවත් හෝ ඇසෙන්නේ නැතිය.මුලු බඩ ම පිච්චී දිය වී යනවා සේ ය.වතුර ටිකක් ගෙන බිව්වද එය දැනෙන්නේවත් නැත.සුලු මොහොතකින් යසට තිබූ ගසක් වැටෙන්නා සේ නිශාදි ඇද වැටුණේ ය.

හිස බිම වැදී රතු ලේ ගලනවා නිෂාදිට පෙනේ.කවුරුත් පය නොතියන ගෙදර ගොඩක් මිනිසුන් එකතු වී ඇත.කිසිදා අඬනු නොදුටු අම්මා ඉකි බිඳිමින් අඬයි.හාමුදුරුවෝ පාංශුකූලයට වැඩම කර ඇත.

හාමුදුරුවෝ පාංශුකූලේ දීමට පටන් ගත්හ.දැන් තමා යායුතුය..තමා පාවෙනවා සේ නිශාදිට දැනුනි .

"කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ විසේට ළමයි හදාගත්තාම ඒ දරුවන්ට වෙන්නේ මේ වගේ දේවල් තමයි" කවුරුන් හෝ වැඩිහිටියෙක් කියනවා නිශාදි ට යන්තම් මතකය.


     

                                 සමාප්තයි.