"මගෙ පුතේ නැන්දයි මාමයි කියන විදියට ඉඳින්.. " අම්මා මගේ හිස සිඹිමින් අඬයි.අම්මා නැතිව ඉන්නා මේ පළමුවතාවයි.
"මල්ලියෙ, පුතා ව හොඳට බලාගන්න.මේකට හොඳට උගන්වන්න ඕන නිසයි මෙහෙ ගෙනාවෙ.ඒත් ඒ මගෙ දරුවා ඔයාට බාර දෙන්නෙ ලොකු විශ්වාසයකින්.." තාත්තා මාමාගේ අත අල්ලාගෙන කීවේය .
"අපි බලාගන්නං අයියෙ.අයියල බය වෙන්න එපා."
අම්මා චීත්ත වාටියෙන් කඳුලු පිසදැම්මාය.නැවතත් මා දිහා බැලුවා ය.අම්මාත් තාත්තාත් යා යුතුව ඇති නිසා මා දණ ගසා වැන්දෙමි.මගේ දෙනතට කඳුලු ඉනුවේ නොදැනුවත්වම ය.
"අපි යන්නම් " කියමින් අම්මාත්, තාත්තාත් බසයට ගොඩ වුණි.
මාමාත් මමත් හන්දියේ සිට නිවසට ආවේ පයින්මය.මට අම්මාව ගොඩක් මතක්වේ.නමුත් තාත්තාට අවශ්‍ය මා දොස්තර කෙනෙක් වෙනවා දැකීමය.එනිසා මා හිත හදා ගත යුතු ය.
"දුක් වෙන්න එපා.හොඳට ඉගෙනගන්න.එතකොට අම්මලාට ආස හිතෙයි."මාමා හිස අත ගාමින් කිව්වේය .
" කෝ ගියාද ?" නැන්දා මාමාගෙන් ඇසීය.
"ඔව්.මේ ළමයට කාමරේ පෙන්වන්න බඩු ටික අස් කරගන්න." මාමා එසේ කියමින් නාන කාමරය දෙසට ගියේ ය.
"නිමල්..." ඒ නැන්දාගේ හඬයි.
"ඇයි නැන්දෙ..."
"මෙන්න මේ කාමරේ අස් කරලා ගනින්.කවුරුහරි ආවොත් බිම නිදා ගන්න පුලුවන්න්නනෙ." කියමින් ඈ නොපෙනී ගියා ය.අවුරුදු ගානකින් මේ කාමරය අස් කොට නැත.නමුත් මට ඉන්න නම් මෙය සකසා ගත යුතුය.
මකුළු දැල් කඩා අනවශ්‍ය බඩු එළියට දැමූවේය.එහි තිබූ මේසයත්,ඇඳත්,ඇඳුම් රාක්කයත් පමණක් ඉතිරි කර ගත්තේ ය.
"ෂා.. ඔය ලස්සනට අස් කරන් තියෙන්නෙ.මොනා හරි ඕන වුණොත් කියන්නකො ."
මාමා කාමරයට එබී කිව්වේය .මොනා උනත් මාමා හරි හොඳයි.මට ආදරෙයි.මගෙ හිත කීය.වැඩි වෙලාවක් ගත් වූයේ නැත.නැන්දාගේ හඬ උස්ව ඇසිණි .
".....තිබුණ කාමරේ තමයි දුන්නෙ.මට වෙලාවක් නෑ ඕවා අස් කරන්න .මගෙ කවුරුත් නෙවෙයිනෙ.ඔයාගෙ කට්ටියනෙ ගිහින් කරලා දෙන්න.නැනැන්දාගේ වචන වල ඇත්තේ සමච්චලයකි.
"ඔහොම කතා කරන්න එපා ගංගා, මගෙ නෑයෝ කියන්නෙ ඔයාගෙ නෑයෝ තමයි "එසේ කීවේය .
"ඔය වගේ හිඟන්නො කොහොමද මගෙ නෑයො වෙන්නෙ" නැන්දා ආපිට පෙරලා උත්තර දුන්නාය.
" නවත්තනවා ගංගා ඔය කියවිල්ල ..."මාමා යන්න ගියේ ය.නැන්දා මේ බනින්නේ අපට ය.අපේ පවුලට ය.අපි පොහොසත් වූවා නම් නැන්දා අපට මෙසේ සලකන්නේ නැත.ලොකු අම්මලාට හොඳට සල්ලි ඇත.ඔවුන් ඉස්සර ආවාම ලොකු අම්මාගේ පුතාලාට චොක්ලට් ,අයිස් ක්‍රීම් අරන් දෙන බව අම්මා තාත්තා එක්ක කියනවා මා අසා ඇත.එ නිසා ඈ හොඳ ඇති සිතා ආවා මිස නැති නම් මා මෙහේ නොයෙන බව මට ස්ථිර ය.
" ගිහින් නාගන්න.නාලා කාලා කලින් නිදා ගන්න.හෙට.අලුත් ඉස්කෝලෙට යන්න තියනවනෙ.මං කඩේට ගිහින් එන්නම් ." කියමින් මාමා බයිසිකලයේ නැගුණේ ය.
"නැන්දේ නාන්නේ කොහෙන්ද?" මා ඇසුවේ තරමක් බියෙනි.
"වත්ත පහළට වෙන්න ළිඳක් තියෙනවා .ඒකෙන් නාගනින්.බාල්දිය ඇති දර මඬුවෙ."නැන්දා කීවේ තරහ මුසු හඬකිනි.නමුත් අම්මා නම් කීවේ නාන කාමරයෙන් නාන්න දෙයි කියලයි.බාල්දියත් සරමත් අක්කා ඊයේ දුන් කොහොඹ සබන් කැටයත් ගෙන පහලට ගියෙමි.
නරක ම නැත.නිල් පාට සීතල වතුරෙන් නා ගත් විට අමාරු සියල්ලම පහව ගිහින් ය.
රෑ කෑම කා කාමරයට නිදන්න ආවත් නිදි මත අහලකවත් නැත.ඉස්කෝලෙ යාලුවෝ මොන වගේ වේවි ද,නංගීට පාඩම් අසා ගන්නට මා නැත.නොයෙකුත් දේ මගේ සිතේ දෝලනය වන්නට පටන් ගත්තේ.එළියේ වැටුණු සිහින් හිරි පොද වැස්ස නිසා ආ සීතලත් සමඟ නින්ද පැමිණි බව මා දන්නේ නැන්දා තබා තිබූ එලාම් එකේ සද්දයට ය.
අපි තිදෙනාම නිවසින් එළියට බැස්සේ එකම වේලාවටය .නැන්දා කන්තෝරුවක වැඩ කරයි.මාමා වලස්හේන විද්‍යාලයේ විදුහල්පතිය.මා රාහුල විද්‍යාලයට ඇතුළත් කිරීමට ඇති නිසා මාමා මා සමඟ යා යුතුව තිබුණි.එ නිසා නැන්දා නෝක්කාඩු කියමින් බසයක නැඟී ගියා ය.
පාසල සිතුවාට වඩා හොඳය.ජීව විද්‍යාව හාදාරන් සිසුන් විස්සක් පමණ සිටියේ ය.ඒ අතරින් සිත් ගත් යාලුවා වූයේ ජනකය.ඔහු ද තමා මෙන් සා පෙළ විභාගයට විශිෂ්ඨ සාමාර්ථ දහයක් ගත් සිසුවෙකි.
පාසල ඇරී ආ විට මුලු ගෙදරටම සිටින්නේ මා පමණි . මාමා එන විට සමහරදාට සවස් වේ.ළිඳට යන මා සිත් සේ නා ගෙන දී ඇති පැවරුම් නිමකොට සවස කෙටි නින්දක් ලබයි.නැවත අවදි වන්නේ නැන්දාගේ හ්ඬිනි.
" නාලා කරලා සැපට නිදි නේද ? නරක ද ගෙයක් මිදුලක් අතුන්ගෑවොත්" නැන්දා සිතුවාට තරම් හොඳ නැති බව ඇගේ කතාවෙන් තේරී හමාර ය.ඇය.කතා කරන්නේ ද වරෙන් පලයන් භාෂාවෙන් ය.නමුත් ගෙදර නම් එසේ නැත.අම්මාත් තාත්තාත් කොයි ළමයාටත් කතා කරන්නේ දුවේ,පුතේ කියා ය.
කිසිවක් නොකී මම ඉදල අරන් අතුගාන්නට පටන් ගත්තෙමි.මිදුල.ගෙදර මිදුල මෙන් විශාල නැත.නැන්දාට.අම්මාට තරම් වැඩ නැත.ඒ සියලු වැඩ වලට අවශ්‍ය හැම යන්ත්‍රයක් ම නිවසේ ඇත.ඒත් ඇය මා එක්ක පමණක් නොව මාමා එක්ක ද තරහෙන් ම පසු වෙයි.
දින දවසින් දවස ගෙවුණි.නැන්දා මා ගණන් ගන්නේවත් නැත.රෑ කෑමට දෙන්නේ උදේ ඉතිරි බත් උඩින් උණු බත් හැන්දක් දමාය. නැන්දා එලෙස සලකන්නේ අපි දුප්පත් නිසාදෝ මා දන්නේ නැත.නැන්දා සල්ලිකාර පවුලක බව අම්මා මට කියා තිබේ.
පාසල ඇරී එන විට නිවසේ දොර ඇරී තිබේ.නැන්දා වැඩට ගොස් කලින් ඇවිත් වගේ ය.
" නැන්දෙ මොකක් හරි කරදරයක් ද ඇයි අද කලින් ම.."
"චික්...මුස්පේන්තු කට.එහෙම දෙයක් නෑ.අපෙ අම්මා ඇවිත්.ඒකයි." කියමින් නැන්දා ගස්සාගෙන ගියා ය.
කොණ්ඩෙ පිස දමමින් ඉදිරියට ආවේ තරමක් තරබාරු කතකි.ඇය නැනැන්දාගේ අම්මා විය යුතුයි.මන් ඇගේ මුහුණ බලා සිනාසුණත් ඇය පුම්බාගෙන ගියේ මාගේ සරම දිහා බලාගෙනය.
"ඈ ..දුවේ අර කොල්ලා අඳින්නෙ පාට මොකක්ද කියලවත් හොයන්න බැරි සරමක් නේද.ඇයි ඒ කොල්ලට කලිසමක් අඳින්න බැරි.පිට කවුරුහරි දැක්කොත් නම් ඔයාලගෙ තත්වෙට හොඳ නෑ."
"ඔව්වා කතා කරලා වැඩක් නෑ අම්මෙ....උන් කලිසම් අඳින උන් නෙවෙයි.කොහෙද අපේ මනුස්සයා එක්ක කතා කරන්නත් බෑ.එයා කියනවා තත්වෙට වඩා නෑදෑකම් වටිනවලු."
"එයත් ඒ කාලේ ඉන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති.ඇයි දැන් මෙහෙම ඉස්කෝලෙ යන්න ආවෙ.එහෙ ඉස්කෝල නැද්ද ?"
"තියනවා තියෙනවා .දොස්තර කෙනෙක් වෙන්නලු උගන්වන්නෙ.ඒකයි මෙහෙ ගෙනත් දැම්මෙ.කරදර නැතිවට තවත් කරදර.උන්ට පුලුවන්ද දොස්තර විබාගෙ පාස් වෙන්න..හේනක් කුඹුරක් කරන් ඉන්නෙ නැතිව එනවා අපට වද දෙන්න."
සිත හොඳට ම රිදී ඇත.නැන්දාගේ වෙනස්කම් මාමාට කිව නොහැකිය.එවිට ඒ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙනවා නොඅනුමානය .අම්මාට දන්වා යාමට ද නොහැකිය.ඒත් දැන් නම් සිතෙන්නේ මෙහෙන් යාමටය.ඒත් කොහි කියා යන්න ද....
රෑට කන්නට ලැබෙන්නේ සුලු ප්රමාණයකි.ඒත් ගෙදර සිටියා නම් අම්මා හොඳට කන්න දෙයි.ඒත් මා ආවේ කා බී හොඳට සිටින්නට නොව ඉගෙනගන්නට.බව මතක් වෙද්දී ඒ දේවල් අමතක කිරීමට ලේසිය.නැනැන්දාගේ අම්මා සිටියේ දවස් දෙකක් පමණි.එහෙත් එකදු වචනයක් මා හා කතා නොකළා ය.
"සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ දහයක් ගත් අයට රජයෙන් ආධාර මුදලක් මාස් පතා දෙනවා.සුදුසුකම් තියන අය මේ පොරෝමය පුරවලා කාර්යාලයට ලබා දෙන්න.."නාමල් ගුරුතුමා සියලු දෙනාට පැවසුවේ ය.
මාත් ජනකත් එය පුරවා කාර්යාලයට ලබා දුන්නෙමු.
"නිමල් ඒ සල්ලි වලට මොනාද කරන්න හිතන් ඉන්නෙ" ජනක ඇසුවේ ය.
"තාම නම් හිතුවෙ නෑ."
"මට නම් දැන් ගෙදරට කරදර කරන්න ඕනෙ නෑ.බෝඩිං කුලී ඒ සල්ලි වලින් ම දෙන්න පුලුවන් ...." ජනක පැවසුවේ ඉතා සතුටෙනි.
"ඔයා ඉන්න තැන වෙන බෝඩිං නැද්ද .."
"අපෝ තියෙනවා.ඇයි නිමල්ටත් බෝඩිං ඕන වෙලා ද.." ජනක ඇසුවේ තරමක් සැකයෙනි.
මම අකුරක් නෑර ජනකට පැවසුවෙමි.ජනක සාවධානව අසා සිටියේ ය.
"ඔයා එන්න.මම එතන ඇන්ටිට කියන්නම්.ඒත් බෝඩිං කුලී මාසෙට දෙසිය පනහක් ගන්නවා.කෑමත් එක්ක.ඇන්ටි කන්න දෙන්න නම් ලෝබ නෑ ඉතින්.වතුර අපතෙ යවනවට තමයි කැමතියි නැත්තෙ."
" අම්මට ලියුමක් දාලා අහලා කියන්නම්.සල්ලි ලැබෙන්නෙත් ලබන මාසෙනෙ."
හිතේ දැන් ඇත්තේ එකම දෙයකි.ඒ ජනකගෙ බොඩිමට යාමයි.මාමාගෙ ගෙදර එක හිතක් සාදාගෙන පාඩම් කිරීමට අපහසුය.නැන්දා තරහෙන් පුපුරන්නේ ගෙදර වැඩ කිසිවක් නොකර මා පොතේ පතේම සිටිනා නිසාවෙනි.මා දන්නේ නැති දෙයක් වුවද අසා ගැනීමට ජනකත් සිටී.එකම අරමුණ නම් විබගය සමත් වීමයි.
මම අම්මාට ලියුමක් දාමා සියලු විස්තර දැන්නුවෙමි.අම්මාට බොරු කීමට අවශ්‍ය නැත.
" නිමල්, දැන් පාඩම් කටයුතු හොඳට කෙරී ගෙන යනව ද." මාමා කෑම මේසයේදී ඇසුවේ ය.
" ඔව්..මාමේ"
" මොකද හොඳට කරන්න බැරි දවසෙම පොතේ ඇලිච්ච ගමන්.වෙන වැඩකුත් නෑනෙ."නැන්දා නෝක්කාඩුවෙන් කීවාය.
"පුතා හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්න.පුතාට වරදින්නෙ නෑ.අම්මා ලොකු විශ්වාසයෙන් ඉන්නෙ පුතා විශ්ව විද්‍යාලයට තේරෙයි කියලා."
මට මාමා ගැන ඇති වුණේ අසීමිත ආදරයකි.මට මාමා දමා බෝඩිමට යා නොහැකිය .ඒත් කරන්නට දෙයක් නැත.මා යා යුතුව ඇත.නැති නම් ඉදිරියට තව ලොකු ප්‍රශ්න වුවද ඇති විය හැකිය.
දින දෙකකින් පසුව මාගේ ලියුමට ගෙදරින් පිළිතුරක් ලැබිණි.එහි සඳහන් වූයේ මාමා අමනාප නොකරගෙන සුදුසු දෙයක් කරන්නට කියාය.
අධාර මුදල් රුපියල් තුන්සීයක් ලැබුණි.තුන්සීය අතට ගත් පසු මා සිතා ගත්තේ මාමා සමඟ කතා කොට බෝඩිමට යාමයි.පාසල නිම වෙන තුරු මා සිටියේ නොඉවසිල්ලෙනි .
මා නිවසට යන විට දෙදෙනාම නිවසට ඇවිත් ය.නැන්දා සමහරදාට කලින් පැමිණෙයි.
"කෝ මගෙ මාලේ...උඹ ගත්ත නම් හොඳ හිතින් දීපන්.නැත්තම් මං නරක ගෑනි කියන්න එපා..."නැන්දා මගේ ඇඟට කඩා ගෙන පැන්නේ ය.
"මොන මාලයක් ද? මම දන්නෙ නෑ මාමෙ." කිසිවක් නොදන්නා මම එලෙස කියා සිටියෙමි.
"හොරකම් කරලා තව බොරුත් කියනව ද" නැන්දා යක්ෂනියක් මෙන් ය.
" ඒ ළමයට මොකට ද ඔයාගෙ මාලේ ගංගා.ඔයා වෙන තැනකින් තියන්න ඇති.පුතා ඔයා යන්න.නැන්දාගෙ මාලෙ නැති වෙලා.ඒකයි මේ.."මාමා සන්සුන් ලෙස කියා සිටියේ ය.
"අපි තුන්දෙනා විතරයි මේ ගෙදර ඉන්නෙ.පිටින් ඇවිත් අරන් යන්නෙ නෑනෙ.පවුම් එක හමාරක් මගෙ මාලේ.තමුසෙට නම් කිසි දෙයක අගයක් නෑනෙ.මොනා කරත් මේ හිඟන්නව තමයි ලොකු.මාලේ විකුණලා මොනා කරන්න බැරි ද"නැන්දා කියවගෙන යයි.
"ගත්ත එකෙක්ගෙ අතක් පයක් කැඩෙන්න ගහනවා ගිහින් පොල්.. එතකොට බලා ගන්න පුලුවන් කවුද් ගත්තෙ කියලා.ඔයාගෙ අම්මා දන්නවා ඇති හොඳ දේවාල එහෙම.." මාමාත් නතර කරන පාටක් නැත.
තව නම් එක මොහොතක් මේ ගෙදර සිටිය යුතු නැත.මා මාමා සොයාගෙන ගියෙමි.මාමා එළියේ පුටුවකට වී බර කල්පනාවක ය.
"මාමෙ.."
" ඇයි පුතේ"
"මට මාමා එක්ක කතා කරන්ඩ ඕනේ" මම හෙමිහිට කිව්වෙමි.
කියන්න...
මාමෙ මං මේ... මේ.... ජනකලගෙ බෝඩිමට යන්න හිතන් ඉන්නවා.මට එහෙ ඉදලා ඉස්කෝලෙ යන්නත් ලේසියිනෙ."
මාමා මා දෙස ටික වෙලාවක් බලාගෙන සිටියේ ය.
"මම දන්නවා පුතා.මන් මේ ළඟ දි පුතාලගෙ ගෙදර ගියා.අම්මා මට විස්තරේ කිව්වා.නැන්දා ඔහොම තමයි පුතා.එයාව හදන්න කාටවත් බෑ.මට එක වෙලාවකට හිතෙන්වා අපට දරුවො නැති එක හොඳයි කියලා..මාමා ඉතා වේදනාවෙන් කීවේ ය.
" අනේ මාමෙ මං ගැන වැරදියට හිතන්න එපා.මට මාමාට කිසි දෙයක් කියන්න හිතුනෙ නෑ ඒකයි අම්මට කිව්වෙ."
"පුතා යන්න ලෑස්ති වෙන්න මං ගිහින් දාන්නම්.මට තේරෙනවා පුතාට මෙහෙ ඉදලා වැඩ කරන්න බෑ කියලා "
රාත්‍රී කෑම මේසයේදී නැන්දා මාමා සමඟ කතා නොකළා ය.
"හෙට නිමල් එයගෙ යලුවෙකුගෙ බෝඩිමක නතර වෙන්න යනවා."මාමා පැවසුවේ ය.
"කොහෙ ගියත් මට කමක් නෑ මගෙ මාලේ තියලා යන්න කියන්න " නැන්දා කීවේ එපමණකි.
මේ මොහොතේ මා කතා කල හොත් රණ්ඩුවක් වුව ද විය හැකිය.එනිසා කා අවසන් වූ විගස මා කාමරයට ගොස් අවශ්‍ය කලමනා සකස් කර ගත්තේය .පසුදා මා පාසල් නොයා බෝඩිමට යාමට මාමා හා මම කතිකා කර ගත්තේමු.
උදෑසන ම මා එළියට පැමිණියේ මගේ බඩු ටික අතැතිව ය.නැන්දා කන්තෝරුවට යාමට හැඳ පැලඳ සාලයට පැමිණියා ය.ඒ සමඟ ම මාමා මාලයක් රැගෙන නැන්දා ළඟට පැමිණියේ ය.
" මේ තියෙන්නෙ මාලේ.කොහෙද දැම්මෙ කියලා නිච්චියක් නැද්ද.බොරුවට එක එක්කෙනාට චෝදනා කරන්නෙ" මාමා ඇසුවේ තරහනි.
"කොහෙ ද තිබ්බෙ?"නැන්දා දෑස් විසල් කරමින් ඇසුවා ය.
මාමා කිසිවක් පැවසුවේ නැත.ඈ දෙස බලා රැව්වා පමණි.
"අපි යමු පුතා." මාමා කීවේය.
මම දන ගසා නැන්දා ට වැන්දෙමි.
"නැන්දට ගොඩක් පින් මාව බලා ගත්තට.අපි ගිහින් එන්නම් නැන්දේ."මා පැවසුවෙමි.නැන්දා සද්දයක්වත් නැත.ඇය මා සිටිනවාට මුල සිටම අකමැතිය .එ නිසා යන්න එපා කියන්නට ඇගේ දිව නොනැමෙයි.
මම මාමාට ද දන ගසා වැන්දෙමි.
" හොඳින් වැඩ ටික කරන්න පුතේ.පුතගෙ අනාගතේ ගැන හිතලයි මේ තීරණය ට කැමති උනේ.ඔයාට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් ඒක අපි හැමෝම දන්නවා.බෝඩිමේ නිදහස තිබුණ ට වැරදි දේවල් වලට හුරු වෙන්නෙ නැතිව මේ අවුරුද්දත් ඉගෙනගන්න.අම්මයි තාත්තායි බලන් ඉන්නෙ පුතා දොස්තර කෙනෙක් වෙලා ගෙදර එනකම්.අම්මා පුතාව බලන්න එයි. මේ දවස් වල කුඹුරු වැඩ.මේ සල්ලි ටික තියා ගන්න."මාමා රුපියල් දහසේ කොළයක් මා අත තැබුවේය .
නැන්දා බලාගෙන සිටියා පමණි .මා මාමාගේ බයිසිකලයට ගොඩ උනෙමි.මාමා මාව බෝඩිමට දමා බෝඩිමේ ඇන්ටි සමඟ කතා කොට යන්න ගියේය .ඔහු නොපෙනී යන තුරුම මා බලා සිටියෙමි.ඔහු කියූ එක් දෙයක් පමණක් සිතේ දෝංකාර දෙයි.
"අම්මයි තාත්තායි බලන් ඉන්නෙ පුතා දොස්තර කෙනෙක් වෙලා ගෙදර එනකම්."
දොස්තර කෙනෙක් නොවී ගෙදර නොයන බව තරයේ සිතා ගනිමින් බෝඩිං කාමරයට ඇතුලු වුනෙමි...
සමාප්තයි

2 Comments
ලස්සනයි 😍
ReplyDelete👌😍
ReplyDelete