කබල් බස් රථය ජර බර ගාමින් ඉදිරියට ඇදේ.එහි ඇති රස්නයට හිසේ සිට පාදාන්තය දක්වා දහදිය ගලනු මට තේරේ.උදෑසන සිට ම බස් දෙක තුනකට මාරු වී ආ නිසා දැඩි තෙහෙට්ටු ගතියකුත් මඳ හිසරයකුත් ඇත.තව ම නගරය පසු කළා පමණය.බස් දෙක තුනක එද්දී නොතිබූ හදිස්සියක් මට මේ බසයේ දී ඇති වේ.සමහරවිට එයට හේතුව ඉක්මනින් ගෙදරට යාමට ඇති උවමනාව විය යුතුයි." අල බහිනකම් ඉන්න පුලුවන් තෙම්බෙනකම් ඉන්න බෑ" ,යන ප්‍රකාශය උචිත් වන්නේ මේ වගේ තැනකදි යැයි මට සිතේ. ගිනියම් වූ බස් රථය හරහා ගිය සිසිල් සුළඟින් ගතට මොකක්දෝ සිසිලසක් දැනුනි.දැන් නම් ගමට ඉතාමත් ආසන්නය.මේ දිනවල වැටෙන වැස්ස නිසා දෝ පැල ගොයම නිල්ල ගැසී ඇත.සිසිල් සුළඟත් සමඟඉ එන මඩ සුවඳට මා ඉතා ප්‍රිය කරයි.මඩ සුවඳට පෙම් කරන මා වැනි පිස්සියකු මේ ගම් අහඅහලකවත් නැත. "කුඩාලියද්ද හංදිය බැහැගන්න....." කොන්දොස්තර මා දිහා බලාගෙන කෑගසයි.මම ඉක්මනින් බසයෙන් බැස ගත්තෙමි.අපේ ගමේ හංදියෙන් බහින්නට බසයටම සිටියේ මා පමණි. මා මේ ගෙදර යන්නේ අවුරුදු එක හමාරකින් පමණය.අවුරුදු එක හමාරකට පෙර ගෙදරින් ගිය හැටි ද අද වගේ මතක ය. නංගීත් අම්මාත් දර ගෙට අඳිනවා පෙනේ.මල්ලී නම් පරණ ටයරක් පස්සේ දුවනවා පෙනේ.ගෙදර නම් තිබුණ විදියමය.කිසි වෙනසක් නැත. "අම්මේ... අම්මේ.. අක්කා එනෝ......" මල්ලී කෑගාගෙන මා වෙත දුවගෙන ආවේ ය. අම්මාද නංගී ද සිනාමුසු මුහුණෙන් මා දිහා බලාගෙනය.මම අම්මාට දෙදන නමා වැන්දෙමි.අම්මාගේ ඇස් වල.කඳුලු තියෙනවා මං දැක්කත් නොදැක්කා වගේ ගෙට ගියෙමි. "දන්නෙවත් නෑනෙ එනවා කියලා..නැත්නම් මොනා හරි   උයනවා." "බඩගිනි නෑ අම්මෙ..මං නුවරින් තේ එකක් බීලා ආවෙ.කෝ අම්මෙ තාත්තා?" "කුඹුර පැත්තෙ යන්න ඇති..කීඩෑවො හරීයට.." "අක්කේ..මේ ගවුම හරි ලස්සනයි." නංගී කීවේ මා හැඳ සිටින ගවුමේ කොනක් අල්ලාගෙන ය. "ඔයා ආසද මේකට?" " නැත්නම් අනේ මං ලස්සනයි කියයි ද." "ම්ම්ම්ම්ම් හා එහෙනම්..." " පුතේ නංගි එක්කවත් ගිහින් නාගෙන එන්න.උඩහ කන්දට වහිනවා.තව ටිකකින් වහී.රෙදි හෝදන්න ඕනා නෑ.හෙට දවල් ඔයට ගිහින් හෝදමු.." අම්මා කීවේ දර ටික ගෙට දමන ගමන් ය. "නංගි එහෙනම් බාල්දියයි ලණුවකුයි අරන් එන්නකො.." " මොකටද අනේ ලණු..වතුර මෙන්න මෙහෙම අතින් ගන්න පුලුවන්..." මල්ලි ඇක්ටින් දමා පෙන්වයි. "ආ... ඇත්තද ඉලන්දාරියා එහෙනම් යමුකො නාන්න..."

         මේ සීතල වතුර ගතට වැටෙන විට දැනෙන්නේ ඉමහත් ආශ්වාදයකි.නමුත් මා වැඩිපුර ම ආසා දොළෙන් නෑමට ය.හනික නා ගත් අප ගෙදරට දිව්වේ වැස්ස තදින් ආ නිසා ය.
 
            උම්බලකඩ දැමූ  රතු ලුණුමිරිසට පාන්පිටි රොටී කදිමට ගැලපුනි.උණු වෙන් වටිටියට දමන රොටී කන්න ඉස්සර වගේ ම තරඟයකි.නමුත් අම්මා සෑදූ රසවත් රොටී වලින් හොඳට බඩකට පුරවා ගත්තේය.

" සුද්දියේ..." ඒ තාත්තගෙ කටහඬයි.
"තාත්තේ......."
"කොහොම ද පුතේ වැඩ කරන තැන හොඳයි ද"
" හොඳයි තාත්තෙ.තාම නම් කරදරයක් නැතුව වැඩ ටික කරනවා.."
 "එහෙනම් කමක් නෑ.."

           මා මේ ගෙදරින් ගියේ නෑදෑයන්ගෙන් මා හට සිදු වූ කෙනෙහිලිකම් ඉවසා ගැනීමට නොහැකි වූ නිසා මය.උසස් පෙළ විබාගය අවසන් වූ පසු මා සිටියේ අම්මාටත් තාත්තාටත් උදව් කර ඉතා සැහැල්ලුවෙන් ය.නමුත් ගෙදරට එන සියලු නෑදෑයො කියා සිටියේ පොල්ලෙලි මෝලට හෝ ගොස් රැකියාවක් කරන ලෙස ය.මා හට අවශ්‍ය වූයේ රැකියාවක් නොකර ප්‍රතිඵල ලැබෙන තුරු නිවසට වී සිටීමට ය.නමුත් ලොකු අම්මා සමඟ ඇති වූ බහින්බස් වීම නිසා මා ගෙදරින් කොළඹ බලා පිටත් උනේ ගාමන්ට් එකක හෝ රැකියාවක් කරන් අරමුණ ඇතිව ය.නමුත් මාගේ වාසනාවට ගාමන්ට් එකේ ඉහළ තනතුරක් ලැබුනි.එය කරන අතරතුර ප්‍රතිඵල පැමිණියේ.ප්‍රතිඵල විශ්ව විද්‍යාලයට යාමට තරම් ප්‍රමාණවත් වූ නිසා මා තවත් තනතුරෙන් උසස් කළේ ය.එ නිසා මාගේ තීරණය වූයේ රැකියාව කර සිටීම ය.

"අක්කේ...."  ඒ මල්ලීගේ හඬයි. 
"මොකෝ....." .මම ඔහුගේ හිස පිරිමදිමින් ඇසුවෙමි.
"අක්කේ.... අපට මොනාද ගෙනාවේ." මල්ලී ඇඹෙරෙමින් අසයි.

 මල්ලී වෙනුවෙන් ගත් ඇඳුමත්,සෙල්ලම් කාරයත්, දුන්නෙමි.නංගීට ගවුමත්,පුයර සහ ක්‍රීම් බෝතලයක්,යට ඇඳුම්,කොණ්ඩ බූල් සහ කොණ්ඩ කටුත් දුන් විට මූණ දිලිසුණි.මම අම්මාට  තාත්තාටත් ඇඳුම් සූට් ගෙන ආමි.  

මේ තාක් ඉතිරි කර ගත් ලක්ශයක මුදල මා තාත්තාගේ අතේ තැබුවෙමි.තාත්තාගේ ඇස් උඩ යනු මා දුටුවෙම්.මේ මා මෙතෙක් කල් ඉතිරි කරගත් මුදල ය.එය ඉතිරි කර ගන්නට මා හුදෙක් වෙහෙසුනෙමි.අනෙක් යාලුවෝ රස රස කෑම සොයා කඩවල්  සොයා ගියත් මා රුපියල් පනහේ බත් පැකැට්ටුවට,ක්‍රීම් කැකර් බිස්කට් එකට විතරක් හුරු උනෙමි.විලාසිතා කරන්නට ආස මුත් දවස් පහට ඇඳුම් පහක් තියා ගෙන ඒවා පිලිවෙලට පිරිසිදුවට ඇන්දෙමි.මේ සියල්ලටම හේතුව උනේ ගේ සාදාගැනීමට මුදල් ඉතුරු කර ගැනීමටය.අම්මාගේත් තාත්තාගේත්  පවුල් ගත් කල මැටි නිවසක් ඇත්තේ අපට පමණි.

" තාත්තේ ඔය සල්ලි වලින් ගේ හදන්න පටන් ගන්න...තව සල්ලි ටිකක් මං ගෙනත් දෙන්නම්.මං ලබන සතියෙ බැංකු ණයක් දාන්න හිතන් ඉන්නෙ.දැනට ඔය සල්ලි වලින් වැඩ ටික කරන්න ගන්නකෝ..."

"ඒත් පුතේ....මේ සල්ලි ඔයා තියා ගන්න.කවද හරි ඕන වෙනවා.අපිට ලොකු ගෙවල් නැති උනාට වැටිලා ඉන්න තැන තියනවනෙ..."

"පිස්සු කියන්න එපා තාත්තේ..මං හදිස්සියේ  ආවෙ ඒ නිසා..."

" එතකොට පුතා හෙට යනව ද?"

"ඔව්.මං ගිහින් ලබන මාසෙ එන්නම්.තව දවස් දෙකක් විතර නිවාඩු දාලා.."

"එහෙනම් පුතේ දැන් නිදා ගන්න.හෙට උදෙන් ම නැගිටින්න එපැයි.."
  
අම්මාටත් තාත්තාටත් වැඳ නින්දට ගියේ සිතේ ලොකු බලාපොරොත්තු හිතේ ඇතිව ය.නෝබෝ දිනකින් ඒ බලාපොරොත්තු ඉටු වනවා සත්තමය.